Thursday, April 19, 2012

දුප්පත්කම

චුරු චුරු ගාලා වැටෙන වැස්සේ සද්දේ ඇහිලා ජනේල‍ය ඇරපු මම කිසි අරමුණක් නැතුව වැස්ස දිහා ඔහේ බලන් හිටියා. එතකොට තමයි දැක්කේ කහ කුරුල්ලෙකුට වැස්සෙනේ බේරෙන්න විදියක් නැතුව ජනේලය ඉස්සරහා තිබුන පිහිඹියා ගහේ අත්තෙන් අත්ත පැන පැන ඉන්න හැටි. කහ කුරුල්ලෝ කියන්නේ දෙන්නා දෙන්නා ඉන්න කුරුල්ලෝ ජාතියක් කියලා ඉස්සරෝම දවසක සීයා කියලා තිබුන නිසා මම ඒ මේ අත බැලුවේ අනිත් කුරුල්ලත් ඉන්නවද කියලා. ඒ අතරේ හිටිය කුරුල්ලත් ගිහින්ද කොහේ ඌ හිටියේ නෑ.

පොඩියට පටං ගත්ත වැස්ස ලොකු වැස්සක් බවට පත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒත් මම තාමත් ජනේලය ළඟට වෙලා වැස්ස දිහා ඔහේ බලාගෙන. ඒ අතරේ මතක් වුනේ පුංචි කාලේ දවසක් මම මේහෙම වැස්ස දිහා බලං ඉඳලා හුළංපොදට හෙම්බිරිස්සාව හැදිලා ගොඩක් අමාරු වුන හැටි. මම පුංචි කාලෙම අපේ තාත්තා අපිව මේ ලෝකේ තනිකරලා ගියා. ඒ දවසේ ඉඳන් මාව හදාවඩාගන්න ලොකුමහත් කරන්න මගෙ අම්මා නොවිඳි දුකක් නෑ. මාව බඩගින්නේ තියන්න බැරි නිසා ‍අම්මා වේල් තුන හතර නොකා මට විතරක් කන්න දුන්න හැටි මතක් වෙනකොට අම්මා මම වෙනුවෙන් කොච්චර දුකක් වින්දද කියලා හිතෙනවා.

වැස්ස දිහා බලාගෙන හිතට එන එක එක දේවල් ගැන හිත හිත ඉන්න අතරේ හමාගෙන ආපු සීතළ සුළං පාරක් වැදිලා මගේ මූණ කූල් වෙලා ගියා. ඉස්සර ඉඳන්ම මම ආසා කරපු දෙයක් තමයි මෙහෙම වැස්ස දිහා බලාගෙන ඔහේ කල්පනා කර කර ඉන්න එක. එතකොට මගේ හිතේ තියෙන දුක, සතුට කිසි දෙයක් දැනෙන්නේ නැති වෙලා මාව නිකං සැහැල්ලු වෙලා යනවා වගේ දැනෙන්න ගන්නවා. ඒ හැඟීමට මම කොච්චර නම් ආස වුනාද කියනව නම් මට අවුරුදු 21ක් වෙනකන් පවා මට බැරි වුනා ඒක අතහරින්න. ඒ තරම මම ඒ ඇඟීමට ආසා කලා.  ආදරේ කලා.

මට අවුරුදු 16 දි තමයි චාමර අයියා මගේ ජීවිතේට ආවේ. මුලදී මම එයාට කැමැත්තක් නොදැක්වුවට එයා දිගින් දිගටම මගේ පස්සෙන් එන්න ගත්ත නිසා ඉබේටම වගේ මගේ හිතේ චාමර අයියා ගැන අදහසක් ඇති වුනේ. මට හොඳට මතකයි එදත් මම වැස්ස දිහා බලාගෙන ඉන්නකොට තමයි චාමර අයියා ගැන කැමැත්තක් ඇති වුනේ.  එදා පටං මගේ මුළු ජීවිතේම චාමර අයියා වුනා. උසස් පෙළ කරන්න පුළුවන් තරමට සාමාන්‍ය පෙළ විභාගෙන් පාස් වුනත් ඒ තරං දුරට ඉගෙනගන්න තරං සල්ලියක් අපිට නැති නිසා සාමාන්‍ය පෙළින් මගේ අධ්‍යාපනය නවත්තන්න මට සිද්ධ වුනා. ඒ වෙද්දී අම්මත් ටික ටික අසනීප වෙන්න ගත්තා. ඒක නිසා අම්මව තවත් මහන්සි කරවන්න බැරි හින්දා මම තීරණය කලා මොකක් හරි රස්සාවක් කරන්න. ඒත් ඉතිං අම්මා තනියම ගෙදර දාලා ගමෙන් පිට රස්සාවක් කරන්න බැරි නිසා ගම පුරාම ඇවිද ඇවිද රස්සාවක් හෙවුවත් අන්තිමේදී හොයාගන්න බැරි වුනා.

මේ වෙද්දී චාමර අයියත් මාව මඟාරින්න පටං අරං තිබුනේ. ම‍ට ආරංචි වුනා උසස් පෙළ පන්තියේ චාමර අයියට වෙන ගෑනුළමයෙක් ඉන්නව කියලා. එයා මගෙන් ගන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන මාව මගාරින බව මට තේරෙනකොට මටම කියලා කිසි යෙක් ඉතුරු වෙලා තිබුනේ නෑ මට. ඒ වුනත් මට ඒවා ගැන ඒ හැටි හිතන්න වෙලාවක් තිබුනේ නෑ. මට ඕන වුනේ මගේ අම්මා හොඳින් බලාගන්න එක. රස්සාවක් හොයාගන්න බැරි වුන නිසා අන්තිමේදී මම තීරණය කලා ඉඳියාප්ප හදලා ගුණපාල මාමගේ කඩේට දාන්න. ඒ වැඩේට අම්මා එච්චර කැමති නැති වුනත් මට කරන්න වෙන දෙයක් නැති නිසා මම ඒ තීරණය ගත්තා. 

ඔහොම එක දවසක් උදේ පාන්දර මම කඩේට ඉඳියාප්ප දාලා ගෙදර එද්දී අම්මා වැටිලා තුවාල වෙලා. අම්මව පියසේන මාමගේ කරත්තේ දාගෙන ඉස්පිරිතාලෙට එක්කං ගියත් මඟදිම අම්මා නැති වෙලා කියලා දොස්තර මහත්තයා කිවුවා. මේ ලෝකේ මගේ කියලා හිටිය එකම කෙනත් මාව දාලා ගිහිං. මගේ හිතේ ඇති වුනේ මම මහා පවුකාරියක් කියල හැඟීමක්. එතකොට මට වයස අවුරුදු 20ට ළඟයි. ටික කාලයක් යද්දී මම තනි ජීවිතේට හුරු වුනා. වැටිලා ඉන්න තැනක් තිබුන නිසා නොකා නිදාගෙනත් තියෙනවා  ගොඩක් දවසට. 

හයියෙන් වැහැපු වැස්ස දැං ටික ටික අඩුවෙන්න පටං අරං. එක පාරටම වගේ මගේ උරහිස සීතල වෙලා ගියේ කවුරුහරි මාව අල්ලපු නිසා. මම හැරිලා බලද්දී මගේ පිටිපස්සෙන් හිටියේ කුමාර මහත්තයා. එයා තමා ගුණපාල මාමගේ පුතා. දැං කඩේ බලාගන්නේ කුමාර මහත්තයා. කුමාර මහත්තයගේ මූන දිහා බැලුවම මට තේරුනා එයාට දැං ඕන කරලා තියෙන දේ. මම මොනවත් කියන්නේ නැතුවම මහත්තයා පස්සෙන් ගියා.